Saturday, December 12, 2020

කරුනාරත්න අබේසේකර

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ වානිජ සංනිවේදනයේ යම් හඩ සංනාමයක් වන්නේ ද ඒ අමරණීය හඩ පව්‍ර්ෂය  වන්නේ කරුනාරත්න අබේසේකර යි.

1930 ජූනි මස 03 වැනිදා , මාතර රත්මලේ බඹරැන්දේ දී උපන් කරුනාරත්න අබේසේකර අධ්‍යාපනය ලැබුවේ කොළඹ නාලන්දා විද්‍යාලයෙනි.

පාසැල් වියේ සිටම දක්ෂ කථිකයකු වූ කරුනාරත්න අබේසේකර 1946 සිට 1950 දක්වා කොළඹ නාලන්දා  විවාද කණ්ඩායමේ නායකයා විය.

 එවක ලංකා ගුවන් විදුලියේ ළමා පිටිය සම්පාදක සිරි අය්යා  නමින් හැදින්වූ අධි නීතිඥ යූ. ඒ.එස්. පෙරේරා මහතාගේ  මග පෙන්වීමෙන්  හේ ගුවන් විදුලියට සම්බන්ධ විය ඒ 1950 දීය. ඒ වනවිට කරුනාරත්න අබේසේකරගේ වයස අවුරුදු 20කි.

ගුවන් විදුලියේ ළමා පිටිය නිෂ්පාදනය කිරීම හා ඉදිරිපත් කිරිම් කල කරුනාරත්න අබේසේකර දරුවන් අතර ප්‍රචලිත වන්නේ  "කරු අය්යා '  යනුවෙනි.

 1958 දී    බ්‍රිතාන්‍ය ගුවන් විදුලිය හෙවත් BBC ආයතනයේ සංනිවේදන පුහුණු අවස්ථාවක්  කරුනාරත්න අබේසේකරට  ලැබුණි. 

එවක ලංකා ගුවන් විදුලියේ දෙවැනි සේවය ලෙස හැදින්වූ සිංහල වෙළද සේවයේ වැඩිම වෙළද වැඩසටහන් සංඛාවක් ඉදිරිපත් කල නිවේදකයා ද  කරුනාරත්න අබේසේකර සූරින්ය.

වෙළද වැඩසටහන් ඉදිරිපත් කිරීමේ මෙන්ම වෙළද දැන්වීම් පිටපත් රචනයේ ද කරුනාරත්න අබේසේකර මහතා ප්‍රවීණයෙකි.

ලංකාවේ ප්‍රකට අවමංගල්‍යය සේවා ආයතනයක් පිළිබඳ කරුනාරත්න අබේසේකර ලියූ වෙළද දැන්වීමක් තවමත් ගුවන් විදුලි ශ්‍රාවකයා  අතර ප්‍රචලිතය.

" සොම්නස  දොම්නස  - පවසන ගොලු බස "

  ජයරත්න ........... ජයරත්න නම් - මල් - මල් නම්........

  ජයරත්න .................  යනු ඒ වෙළද  දැන්වීමයි.

ඔහු අතින් ලියැවුණු තවත් ජනප්‍රිය වෙළද දැන්වීමක් නම් ,

" සව් සිරියෙන් පිරි සව්සිරි "

සව් සිරි  වෙළද සැල......  නුගේගොඩ .......

කරුනාරත්න අබේසේකර සූරින් අති දක්ෂ ගීත රචකයෙකි . ඔහු ගීත දහසක් පමණ රචනා කර ඇත. එච් . ආර්. ජෝතිපාල මොහිදීන් බෙග්, මිල්ටන් මල්ලවආරච්චි , මිල්ටන් පෙරේර, සුජාත අත්තනායක , ධර්මදාස වල්පොල , ලතා වල්පොල  ආදී වශයෙන් වූ අතිශය ජනප්‍රිය ගායක ගායිකාවන් රැසකට අබේසේකරයෝ ගීත රචනා කර ඇත්තාහ .

හිංදි ගී තනුවලට  සිංහල ගීත රචනා කිරීමේ පූරෝගාමීන් අතර ප්‍රමුඛයා  වන්නේ කරුනාරත්න අබේසේකර මහතා ය. ලාංකේය සිංහල සිනමාවේ චිත්‍රපට සිය ගණනාවකට කරුනාරත්න අබේසේකර  ගීත රචනා කර ඇත.

ලංකේය  ගීත සාහිත්‍ය පෝෂණය කල කරුනාරත්න අබේසේකරයන් අතිශය ජනප්‍රිය ඉංග්‍රීසි ගීත ඉතාම අපූරුවට සිංහලට අනුවර්තනය කර ඇත. 

පහත දැක්වෙන  ගීතය කරුනාරත්න අබේසේකරන්ගේ භාව පූර්ණ ගීත රචනා ශලීය මොනවට කියා පාන්නේය.

" පනං අටෙන් මට වැඩිකර දුන්න.........

හැකිවුනත් දරුවට කවන්න...........

මාස්ටර් සර් මගේ හිමිතැන දෙනවාදෝ "..........

ලාංකේය ක්‍රිකට් විස්තර කථනයේ ප්‍රථම සිංහල විස්තර කථකයා කරුනාරත්න අබේසේකරයෝ ය. ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රාවක ප්‍රජාව අතර වඩාත්  ප්‍රචලිත කිරීමට කරුනාරත්න අබේසේකරන්ගේ  භාවපූර්ණ නිවේදක හැකියාව මහෝපකාරී විය. ක්‍රිකට් ක්‍රීඩාවේ ඉංග්‍රීසි තාක්ෂණික වචන  වලට ලගන්නා සූළු සුහුරු සිංහල වචන මාලාවක් නිර්මාණය කිරීමේ පූරෝගාමීන් අතර කරුනාරත්න අබේසේකර ප්‍රමුඛ වේ.

 වියපත් ගුවන් විදුලිය ලාංකේය ග්‍රාහක ප්‍රජාව අතර ප්‍රචලිත කිරීමට කරුනාරත්න අබේසේකරයන්ගෙන් සිදුවූ මෙහෙවර අති මහත් ය. 1983 අප්‍රේල් 20 වැනිදා හේ ජිවන රගමඩලින් සමුගත්තේය.


ඉන්දික ජයරත්න .

No comments:

Post a Comment