Monday, December 21, 2020

මොහාන් සමරනායක



70 දශකය අගභාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවූ මේ තරුණ උපාධිධාරීයා දෙස් විදෙස් ප්‍රවෘත්තිකරණයේ අති දක්ෂයෙකි.

හේ ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වන්නේ සහකාර ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වශයෙනි ඒ 1980 වර්ෂයේ ය.

කලුතර අගලවත්තේ උපන් ඔහු නමින් මොහාන් සමරනායක ය. විද්‍යුත් මාධ්‍ය වංශ කතාවේ 70/80  දශක යනු ගුවන් විදුලිය මෙරට ග්‍රාහක ප්‍රජාව අතර ජයකෙහෙළිය නැංවූ අවධිය යි.  ගුවන් විදුලි ඒකාධිකාරය ගුවන් විදුලි සංස්ථාව සතුවූ අතර, සියලු තොරතුරු ශ්‍රාවකයාට සංනිවේදනය කල එකම මාධ්‍ය වූයේ ද ගුවන් විදුලිය යි.

එවක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය වැනි අතිශය සංකීර්ණ ස්ථානයක රැකියාවක් කිරීම ද  අතිශය බැරෑරුම් කටයුත්තකි.

නමුත් මොහාන් සමරනායක මහතා සහකාර ප්‍රවෘත්ති සංස්කාරක රාජකාරි අභියෝග, අභියෝගාත්මකව බාරගත් මාධ්‍යවේදියෙකි.

මෙහාන් සමරනායකගේ ප්‍රවෘත්ති සංස්කරණය සරල විය. සුගම විය. ඔහු විසින් සංස්කරණය කරන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සුවිශේෂී අන්න්‍යතාවය වූයේ කොටි වාක්‍ය වලින් සහ සරල භාෂාවකින් ඔහුගේ ප්‍රවෘත්ති ප්‍රකාශය සකස් වී තිබීමයි.

සිංහල , ඉංග්‍රීසි ද්වී භාෂාවේ ප්‍රවීණයකු වූ මොහාන් සමරනායක මහතා ප්‍රවෘත්ති සංස්කරණයේ දී  ද්වී භාෂාවෙන්ම කටයුතු කිරීමේ දක්ෂතා දැක්වීය.

ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයේ සංස්කාරක තනතුරක ඇති වූ පුරපාඩුවකට කරන ලද අයදුම්පත් කැදවීමකට ඔහු ද අයදුම්පතක් යොමු කලේය ය.

අදාල තනතුරට සියලු සුදුසුකම් සපුරා තිබූ මොහාන්ට, දේශපාලන හේතුමත එම  තනතුර ලබා නොදීමට එවක ගුවන් විදුලි බලධාරීන් කටයුතු කලේය.

ඒ හේතුවෙන් ගුවන් විදුලි මහ ගෙදර පුවත් පියසට සමුදෙන මොහාන් සමරනායක මහතා ජාතික රූපවාහිනියට සම්බන්ධ වන්නේ ගුවන් විදුලිය ලබා නොදුන්  ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වශයෙනි .

රූපවාහිනීයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන්ද  කටයුතු  ඇති මොහාන් සමරනායක මහතා ඉන් අනතුරුව සම්න්ධ වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්‍යාලයේ ප්‍රවෘත්ති ප්‍රධානියා වශයෙනි.

මොහාන් සමරනායක මහතා අති දක්ෂ ප්‍රවෘත්ති විශ්ලේෂකයෙකි. ද්වි භාෂාවෙන්ම ප්‍රවෘත්ති විචාරය කිරීමේ සමර්ථකම් දක්වන ඔහු විදෙස් පුවත් විශ්ලේෂණයයේදි ද සුවිශේෂී දක්ෂතා දක්වා ඇත.

සමාජ , ආර්ථික , දේශපාලන සංසිද්ධි පිළිබඳ ඉතාම ගැඹුරු සිද්ධාන්තමය කරුණු ග්‍රාහක , ප්‍රේක්ෂක ප්‍රජාවට සරල සේම සුගම අයුරින් පැහැදිලි කිරීමේ සුවිශේෂී දක්ෂතාවයක් මොහාන් සමරනායක මහතා සතුය.

හේ තමා ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වශයෙනන්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කල ජාතික රූපවාහිනීයේ සභාපති පදවියට පත්වන්නේ 2012 වර්ෂයේය.

ප්‍රවෘත්තිකරණයේ නිසි ප්‍රමිතිය  හා ගුණාත්මකබව ආරක්ෂා  කිරීමට උත්සාහ කල මොහොතේ සමරනායක මහතා මෙරට ප්‍රවෘත්ති වංශ කතාව එකළු කල  මාධ්‍ය චරිතයකි . හේ මේවන විට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කරමින් සිටී.

ඉන්දික ජයරත්න 

No comments:

Post a Comment