Thursday, December 10, 2020

එච්.එම් ගුණසේකර


හේරත් මුදියාන්සේලාගේ  ගුණසේකර හෙවත් එච්.එම් ගුණසේකර උපත ලබන්නේ 1927 පෙබරවාරි 18 දින , බදුල්ල ලුණුගල ග්‍රාමයේ ය.ලුණුගල ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ගුණසේකර කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට ඇතුලත් විය.

ඒ මහතා කලක් මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ගුරුවරයකු ලෙස සේවය කලේය.කුඩා කාලයේ සිටම නිවේදන කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වූ ඔහු පාසැල් අධ්‍යාපනනය  නිමා වීමත් සමග නිවේදන කලාවට යොමුවිය.

1951 ඔක්තෝබර් 15 වැනි දින  ආධුනික නිවේදකයකු ලෙස ලංකා ගුවන් විදුලි සේවයට එක්වන එච්.එම් ගුණසේකරයන්ට සිය මාධ්‍ය ජීවිතය ඔපවත් කරගැනීමට ඩී . ඇම්.  කොළඹගේ හා තේවිස් ගුරුගේ වැනි ප්‍රවීණයන්ගෙන් ලැබුනේ විශාල පිටිවහලකි.

1953 වසරේ BBC ආයතනයේ නිවේදක පුහුණුව ලබන ගුණසේකර මහතා 1956 වසරේ BBC ලෝක සේවයේ සිංහල අංශයේ සංදේශය වැඩසටහනේ සම්පාදක ලෙස පත් වන්නේය.

ළමා පිටිය,  ශනිදා සාදය, ඉරිදා සංග්‍රහය , ගුවන් විදුලි සගරාව ආදී ජනප්‍රිය වැඩසටහන් බොහෝමයක නිවේදන හා සම්පාදක වූයේ එච් . එම් ගුණසේකර සූරීන්‍ ය.

හේ දක්ෂ සජීව විස්තර විචාරකයෙකි. ලෝක ඉතිහාසයයේ ඓතිහාසික අවස්ථාවක් වන නීල් ආම්ස්ට්‍රෝන්ගේ  සද  ගමනය  පිළිබඳ ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයාට සිංහල බසින් සජීව විස්තරකතනය කල නිවේදකයා වනාහි එච්.එම් . ගුණසේකරයන්‍ යැ.

1967 වසරේ ලංකා ගුවන් විදුලියේ  වාචික වැඩසටහන් අංශයේ ප්‍රධානියා වූ ගුණසේකර මහතා 1969 දී සිංහල අංශ ප්‍රධානියා ලෙස පත් විය.

එච්. එම්. ගුණසේකර මහතා 1973 වසරේ දී සිංහල සේවා අධ්‍යක්ෂ ලෙස පත් විය. 1978 වසරේ ඒ මහතා පත්වන්නේ ගුවන් විදුලි  අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ වශයෙනි . හෙතෙම  1981දී ස්වාධීන රූපවාහිනී ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ ලෙස ද පත් ව තිබේ.

1983 දී ජාතික රූපවාහිනීයේ වැඩසටහන් පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වූ ගුණසේකර සූරීන්‍ ජාතික ගුවන් විදුලිය , ජාතික රූපවාහිනීය හා ස්වාධීන රූපවාහිහිය යන මාධ්‍ය ත්‍රයේම සිය නිසග කුසලතා දැක්වූ කෘතහස්ත  මාධ්‍යවේදියෙකි.

ජාතික ගුවන් විදුලිය ශ්‍රි ලාංකේය ශ්‍රාවක ප්‍රජාව අතර ඉහලින් ඔසවා තබන්නට එච්.එම්. ගුණසේකර සූරීන්ගෙන් ලද දායකත්වය 95 වන වියට පා තබන ජාතික  ගුවන් විදුලියේ නූතන පූරක පරපුර එතුමන්ව සිහිපත් කරන්නේ හද පිරි බැතියෙනි.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment