Thursday, December 10, 2020

හඩ්සන් සමරසිංහ

 


ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ වඩාත් ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් වන හේ ගුවන් විදුලි සංස්ථාවේ වැඩිම වාර ගණනාවක් සභාපති පදවියට පත්වූ මාධ්‍යකරුවාය.

හේ නමින් හඩ්සන් සමරසිංහය. මහනුවර පේරාදෙණියේ පැණිදෙණිය නම් ග්‍රාමයේ දී 1945  ඔක්තෝබර් 24 වන දින  ඔහු උපත ලැබීය.

පැණිදෙණිය ග්‍රාමයේ ඉංග්‍රීසි ද්වී භාෂා පාසැලෙන් මූලික අධ්‍යාපන ලබූ සමරසිංහ මහතා මෙරට ප්‍රමුඛ පිරිවෙනක් වූ වැල්ලවත්ත  ධම්මෝධය පිරිවෙනේ ද අධ්‍යාපනය ලබා ඇත. විද්‍යාලංකාර විශ්ව විද්‍යාලය හෙවත් කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථයකු වන හඩ්සන් සමරසිංහ මහතා, ලංකා ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1968 වසරේ දීය.

එම වසරේ ම   සහකාර කථිකාචාර්යවරයකු ලෙස  කැළණිය විශ්ව විද්‍යාලයට අයදුම් පතක් යොමුකර තිබූ සමරසිංහ මහතා, ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදක තනතුරට අදාල සම්මුඛ පරික්ෂණයට ඉදිරිපත් වන්නේ කථිකාචාර්ය තනතුරකට වඩා මාධ්‍ය මෙහෙවරට ඔහු තුල වූ වැඩි කැමැත්ත නිසාය.

නෙවිල් ඩි ජයවීර ,  මහාචාර්ය තිලක්  රත්නකාර, කේ.එච්. ජේ. විජේදාස ,තේවිස් ගුරුගේ, මහගම සේකර වැනි එකල ගුවන් විදුලියේ ජේෂ්ඨ පරිපාලකයින් ,ජේෂ්ඨ මාධ්‍යවේදීන් හඩ්සන් සමරසිංහයන් ගුවන් විදුලියට බදවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

වැඩසටහන් සම්පාදකයෙක් ලෙස ගුවන් විදුලියට සම්බන්ධ වන හඩ්සන් සමරසිංහ මහතා මුලින්ම සේවය කරන්නේ ළමා වැඩසටහන්   අංශයේ ය.

ළමා පිටිය වැඩසටහන නිෂ්පාදනය කරන හඩ්සන් සමරසිංහ මතතා  ප්‍රභා රණතුංග මහත්මියගේ මග පෙන්වීම මත මාටින් වික්‍රමසිංහ සූරීන්ගේ මඩොල් දූව ළමා නව කතාව ගුවන් විදුලි නාට්‍යක් ලෙස  නිෂ්පාදනය කලේය. මෙහි පිටපත් රචනය ජේෂ්ඨ මාධ්‍යවේදී කරුනාරත්න අමරසිංහ මහතා සිදුකර ඇත.

සජීව විස්තර කථනය ,  ගුවන් විදුලි විචිත්‍රාංග  නිෂ්පාදනය හා නාට්‍ය සම්පාදනයේ ද සමරසිංහ මහතා ප්‍රවීණයෙකි.

 හඩ්සන් සමරසිංහ මහතා ලාංකේය ගීත වංශ කතාවට  ජනප්‍රිය ගීත කලාව හදුන්වා දීමේ පූරෝගාමීයා ය.  හේ සිය මාධ්‍ය ජීවිතය තුල ගීත සිය ගණනක් ලියා ඇත. 

ගුවන් විදුලියේ නිවේදකයෙක් වැඩසටහන් සම්පාදකයෙක් වූ ඒ මහතා ගුවන් විදුලි අධ්‍යක්ෂ , අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ආදි තනතුරු දරමින් , 1989 දී  ගුවන් විදුලි සංස්ථාවේ සභාපති තනතුරට පත් වන්නේය.

 ලංකේය  දේශපාලන වංශ කතාවේ අතිශය තීරණාත්මක මොහොතක හේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පදවියට පත්ව ඇත. එම තීරණාත්මක අවස්ථාවේ දී ඔහු ගුවන් විදුලි සංස්ථාවේ  අධ්‍යක්ෂ ජනරාල් ලෙස ද කටයුතු කර ඇත.

1994 දී හේ මාධ්‍ය පිළිබඳ වැඩිදුර අධ්‍යාපනය සදහා ඇමෙරිකා එක්සත් ජනපදයේ හාවඩ් විශ්ව විද්‍යාලයට ඇතුලත්ව ඇත .

2003 වසරේ දෙවැනි වරට ගුවන් විදුලියේ සභාපති වූ ඒ මහතා නැවත ගුවන් විදුලි සභාපති පදවියට පත් වන්නේ 2007  වසරේ දීය

එතැන් සිට හේ 2015 දක්වා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස කටයුතු කර ඇත.

95 වසරක ගුවන් විදුලි වංශ කතාවේ වැඩිම වාර ගණනාවක් සභාපති පදවියට පත්ව ඇත්තේ හඩ්සන් සමරසිංහ මහතා යි.

ලංකේය ගුවන් විදුලි වංශ කතාවේ මහත් ආන්දෝලාත්මක මාධ්‍ය චරිතයක් වන සමරසිංහ සූරීන්‍ ගුවන් විදුලි මාධ්‍යට විශාල දෙවන පෙලක් නිර්මාණය කල මාධ්‍යකරුවාය.

නිදහස් අධ්‍යාපනයයේ මා හැගි තිලිණයක් වන සමරසිංහ මහතා දුප්පත්කම අධ්‍යාපනය වෙතින්ම පරාජය කල දිරිය මිනිසෙකි.

 සිංහල ,දෙමළ ,ඉංග්‍රීසි , පාලි, සංස්කෘත ආදී  භාෂාවහි ප්‍රාමාණිකයකු වන එතුමා  ලාංකේය ගුවන් විදුලි වංශ කතාවේ පළමු FM නාලිකාව වන CITY FM නාලිකාවේ නිර්මාතෘවරයා ය. 

ගුවන්විදුලිය සිය ජීවන ගමන් මගේ 95.වන වියට පා තබන මේ මොහොතේ  සිය නිර්මාණාත්මක හැකියාවෙන් ගුවන් විදුලිය  පෝෂණය කල හඩ්සන් සමරසිංහ මහතා සිහිපත් කරන්නේ කෘතවේදිවය.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment