Thursday, December 10, 2020

ප්‍රේමකීර්ති ද අල්විස්

 


සමරවීර මුදලිගේ ප්‍රේමකීර්ති ද අල්විස් , උපන්නේ 1947 ජූනි 03 වැනිදා කොළඹ දීය.මරදාන මාලිගාකන්ද මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලද ප්‍රේමකීර්ති පසුව ඇතුලත් වන්නේ කොළඹ ආනන්ද විද්‍යාලයට ය.

කුඩා කල සිටම ලේඛණ කලාවට ඇලුම්කල හේ පාසලේ සමජ විද්‍යා සගරාවේ උපදේශක සංස්කාරක වශයෙන් කටයුතු කලේය . ආනන්ද විද්‍යාලයේදී  ආනන්දය  සගරාවේ  සංස්කාරක වූයේ ප්‍රේමකීර්තිය.

1961 වසරේ දී ප්‍රේමකීර්ති ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වන්නේ ළමා වැඩසටහන් හි පිටපත් කියවන්නෙකු වශයෙනි.

ගුවන් විදුලියේ ප්‍රතිභාපූර්ණ මාධ්‍ය ජේෂ්ඨයකු වන කරුනාරත්න අබේසේකරන්ගේ ඇසුරින් ප්‍රේමකීර්ති මාධ්‍ය පිළිබඳ බොහෝ දෑ ඉගෙන කියා ගත්තේය.

ළමා පිටියෙන් ගුවන් විදුලි මාධ්‍ය මෙහෙවර පිළිබඳ අකුරු කියැවූ ප්‍රේමකීර්ති 1967 දෙසැම්බර් 17 වැනිදා ගුවන් විදුලි සංස්ථාවේ සහන නිවේදක කාර්‍යමණ්ඩලයට ඇතුලත් වන්නේ ය.

අනියම් වැඩසටහන් සම්පාදකයෙක් ලෙස1969 පත්වීම් ලබන ප්‍රේමකීර්ති , ජාතික ගුවන් විදුලියේ ස්ථිර නිවේදක කාර්‍යමණ්ඩලයට ඇතුලත් වන්නේ 1976 ජූනි පළමු වැනිදාය.

ප්‍රධාන කාර්‍යාලය හැරුණු විට රජරට සේවය රුහුණු සේවය යන ප්‍රාදේශීය ගුවන් විදුලි සේවාවන්හිද සේවය කර ඇති ප්‍රේමකීර්ති ද අල්විස් , මේ සෑම තැන්හිදීම අතිශය සාර්ථක වූ නිවේදකයෙකි.

වචානර්ථයෙන්ම ප්‍රතිභා පූර්ණ මාධ්‍යවේදියකු වූ හේ සිය පැහැදිලි ,නිරවුල් හා ලගන්නා සුළු හඩින්  ශ්‍රාවක ප්‍රජාව මෝහනය කලේය.

සැරිසර , ශනිදා සාදය යනු ප්‍රේමකීර්ති ද අල්විස්  ඉදිරිපත් කල අතිශය ජනප්‍රිය වැඩසටහන් ය. ගීත රචනයේද විස්කම් පෑ ප්‍රේමකීර්ති ගේය පද රචනා දහසකට වැඩි ප්‍රමාණයක් කර ඇත.

ජාතික ගුවන් විදුලියෙන් ජාතික රූපවාහිනීයේ වැඩසටහන් ඉදිරිපත් කිරීමට ද යොමුවූ ප්‍රේමකීර්ති මුලින්ම ඉදිරිපත් කල රූපවාහිනී වැඩසටහන, අදුන නම් විය.හේ පසුව  ජාතික රූපවාහිනීයේ ශනිදා ආයුබෝවන් වැඩසටහන ඉදිරිපත් කලේය.

 ප්‍රේමකීර්ති ද අල්විස් ශ්‍රාවකයා ආමන්ත්‍රණය  කලේ අතිශය සජීවී ආකාරයෙනි. ඔහුගේ බස සුගම විය, සරල විය. ඔහුගේ ඇමතීම ඇසීමට  ශ්‍රාවකයා ගුවන් විදුලිය අසල   නැවතුනේය.ඔහුගේ ඇමතීම එතරම් ලගන්නා සුළු විය.

වදන් සිත්තමින් අසන්නන් වසග කල මේ අපූරු මිනිසා සිය ආදරණීයන් , ගුවන් විදුලි ශ්‍රාවකයින් රූපවාහිනී ප්‍රේක්ෂකයින් අතහැර යන්නේ කිසිවකු අපේක්ෂා නොකල මොහොතකදීය. 1989 ජූලි මාසයේ  ඒ භීම සමයේ  එක් අදුරු රාත්‍රියක  ප්‍රේමකීර්තිගේ ඝාතකයෝ  ඔහු සෙයා ආහ. නාදුනන තුවක්කු කරුවා ප්‍රේමකීර්ති මරාදමා අපේක්ෂා කල විමුක්තිය කුමක්ද ?

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment