Thursday, December 17, 2020

තිලක් ජයරත්න



ගුවන් විදුලි වංශාවලිය නවමු මාවතකට ප්‍රවේශ කරවූ මාධ්‍ය චරිත අතුර ප්‍රමුඛයා ලෙස හැදින්වීය හැක්කේ තිලක් ජයරත්නයන්‍ ය.

තිලක් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1960 දශකය අගභායේ  හා 1970 දශකය මුල් භාගය අතරතුරදී ය.

ගුවන් විදුලියට  ක්‍රියාකාරී  සහයකයකු ලෙස සම්බන්ධ වන තිලක්ගේ මුල් රාජකාරිය වන්නේ වැඩසටහන් පටිගත කිරීම ,  වැඩසටහන් සංස්කරණය කිරීම ආදිය යි.

ක්‍රියාකාරී සහයකයකු වූ හේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස පසුව පත්වීම් ලබන්නේය.

නිර්මාණාත්මක වැඩසටහන්කරණය පිළිබඳ උනන්දුවක් දක්වන තිලක් වාර්ථාංග හා ගවේෂණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබඳ උනන්දුවක් දැක්වූයේ ය.

ජාතික ගුවන් විදුලිය නව දිශානතීයකට යොමුකල 1990 දශකය  මුල් භාගයේ ආරම්භ වූ නව අධ්‍යාපන සේවයේ නිර්මාතෘවරයා තිලක් ජයරත්නය. සාම්ප්‍රදායික විධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රමවේදය වෙනුවට උසස් නිර්මාණාත්මක ගුණයෙන් යුතු නොවිධිමත් නව අධ්‍යාපන වැඩසටහන් හදුන්වා දීමේ පුරෝගාමියා තිලක් ජයරත්නයෝ ය.

1994 සිදුවූ ආණ්ඩු පෙරලිය හා ගුවන් විදුලි මාධ්‍ය කර්මාන්තයට පුද්ගලික මාධ්‍ය ආයතන ප්‍රවේශ වීමත් සමග මෙරට රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය ක්‍රමිකව අහෝසි විය.

පුද්ගලික නාලිකා විනෝදායන ගුවන් විදුලි මාධ්‍ය ආකෘතිය ලාංකේය මාධ්‍ය වෙළද පොල තුල අත්හදා බලන විට , ගුණාත්මක මාධ්‍ය මෙහෙවරක් සදහා ගුවන් විදුලියේ ජාතික නාලිකාව වූ  සිංහල ස්වදේශිය සේවයේ සමස්ථ වැඩසටහන් පද්ධතියම ප්‍රතිසංවිධානය කිරීමේ පුරෝගාමියා වූයේ තිලක් ජයරත්න ය.

වර්තමානයේ පැය 18 ක ගුවන් කාලයක් ආවරනය කරන සිංහල ස්වදේශිය සේවය පෙ.ව 5.00 සිට රාත්‍රි 11.00  දක්වා විකාශනය වන  ගුවන් විදුලි නාලිකාවක්  බවට පරිවර්තනය වන්නේ තිලක් ජයරත්නගේ උත්සාහයේ ප්‍රතිඵල වශයෙනි.

ජාතික ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්ෂ වරයා ලෙස කටයුතු කල තිලක්, ජාතික ගුවන් විදුලියේ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර තිබේ.

ගුවන් විදුලි වැඩසටහන් අතර අතිශය ජනප්‍රිය සුභාරති සංවාදශීලි වැඩසටහන තිලක් ජයරත්නගේ නිර්මාණයකි.

මාධ්‍යවේදය පිළිබඳ මනා පරිචයක් හා හසල දැනීමක් ඇති තිලක් දක්ෂ මාධ්‍ය පුහුණුකරුවෙකු මෙන්ම මාධ්‍ය විෂය පිළිබඳ ප්‍රවීණ ආචාර්යවරයෙකි. ඔහු මාධ්‍ය පිළිබඳ පරියේෂකයෙක් ද වන්නේය.

ප්‍රජා මූල මාධ්‍ය සංකල්පයක් වන ප්‍රජා ගුවන් විදුලි සේවාව එහි සැබෑ අර්ථයෙන්ම පවත්වාගෙන යෑම සදහා ගතයුතු උපායමාර්ග පිළිබඳ උනන්දු වූ තිලක් , ජාතික ගුවන් විදුලියේ ඌව ප්‍රජා ගුවන් විදුලි සේවාව වඩාත් ආදර්ශවත් ප්‍රජා ගුවන් විදුලි සේවාවක් ලෙස පවත්වාගෙන යෑමට වෙසෙසි උත්සාහයක් ගත්තේය .

ගුවන් විදුලි වැඩසටහන් පිළිබඳ පිටපත් රචකයකු වූ තිලක් ජයරත්න ජාතික රූපවාහිනීයේ විකාශනය වූ කලාත්මක ටෙලිනාට්‍ය කිහිපයකම තිර රචකයා ය.

අදුකොල, කඩුල්ල,නාදුනන පුත්‍තු,වනස්පති,දණ්ඩේලූ ගිණි යනු තිලක් තිර රචනය කල එම ටෙලිනාට්‍ය වලින්  කිහිපකි.

 1998 දී ගුවන් විදුලියේ රාජකාරි කටයුතු වලින් ඔහු   ඉවත් වූයේය. එසේ වූවත්  මාධ්‍යකරණ ක්‍රියාවලිය තුල ඔහු මියයන තුරුම නිරතව සිටියේය. මාධ්‍යවේදය  , මාධ්‍ය ප්‍රතිපත්ති හා මාධ්‍ය පරියේෂණ පිළිබඳ න්‍යායාත්මක ග්‍රන්ථ කිහිපයකම තිලක් ජයරත්න විසින් රචනා කර ඇත. 

කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රිපාලි මණ්ඩලයේ ජනමාධ්‍ය අධ්‍යනාංශයේ ජනමාධ්‍ය පිළිබඳ භාහිර කථිකාචාර්යවරයකු වූ ඔහු ජනමාධ්‍ය විද්‍යාලයේ ප්‍රධානියා ලෙසද කලක් කටයුතු කලේය.

1943 දෙසැම්බර්  මස 30 වැනි දින කලුතර දී උපන් තිලක් ජයරත්න වයස අවුරුදු 69 ක් ආයු විද ජීවන ගමන නිමා කලේ , වසර 2012 සැප්තැම්බර් මස  07 වැනිදාය.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment