Tuesday, December 22, 2020

ලලිත් එස් මෛත්‍රීපාල

 


මධුර මනෝහර හඩින් කවි ගායනයේ විස්කම්  පෑ හේ, පාලි, සංස්කෘත , හින්දි, ඉංග්‍රීසි ,  ලතින් ආදී වශයෙන් වූ පෙර අපර දෙදිග භාෂා භාවිතයේ ප්‍රමාණික උගතෙකි.

1933   අගෝස්තු 07 වැනිදා ගල්කිස්සේදී උපත ලද ඔහු  නමින් ලලිත් සුවිනීත මෛත්‍රීපාලය.

වචනාර්ථයෙන්ම සුවිනීත චරිතයක් වූ හේ ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා හදුනා ගන්නේ ලලිත් එස් මෛත්‍රීපාල නමිනි.

මෛත්‍රීපාල මූලික අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශ්‍රී පුණ්‍යකාමී විද්‍යාලයෙනි.ගල්කිස්ස ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන  ලලිත් එස් මෛත්‍රීපාල වයස අවුරුදු  16 දී, බෞද්ධාචාර්ය විභාගය සමත් විය.

ලේක් හවුස් ආයතනයේ පුවත්පත් වාර්තා කරුවකු ලෙස සිය මාධ්‍ය  වෘත්තීය  ආරම්භ කරන මෛත්‍රීපාලයන් ගුවන් විදුලිය හා සහසම්බන්ධ වන්නේ ළමා පිටිය වැඩසටහනේ ළමා ශිල්පියකු වශයෙනි. ඒ 1947වසරේදීය.  

ලලිත් එස් මෛත්‍රීපාල ගුවන් විදුලියේ රැකියාවට එක්වන්නේ සහන නිවේදකයකු  ලෙසිනි. සිංහල වෙළද සේවයේ නිවේදකයකු වූ ඒ මහතා විවිධ වැඩසටහන් ගණනාවක් ඉදිරිපත් කර ඇත.

 ලලිත් එස් මෛත්‍රීපාල ඉදිරිපත් කල මධුමාදවී  කවි සගරාව අතිශය ජනප්‍රිය කාව්‍ය  වැඩසටහනකි.  මෙම වැඩසටහන හේ  වසර 20ක් පමණ ඉදිරිපත් කලේය. ඔහු ඉදිරිපත් කල තවත් ජනප්‍රිය වැඩසටහනකි, වාසනා උදාව.ප්‍රශ්නෝත්තර වැඩසටහනක් වූ එය බොහෝ අසන්නන් දැනුමෙන් පෝෂණය කලේය.

සිංහල චිත්‍රපට ගීත සහ සරල ගී රැසක්  රචනා කොට ඇති ලලිත් එස් මෛත්‍රීපාල මහතා සාරවවිට චිත්‍රපටයට රංගනයන් දායක වී තිබේ.

ගුවන් විදුලියේ  වැඩසටහන් නිෂ්පාදකවරයෙක් , වැඩසටහන් සංවිධානයක වරයෙක් ලෙස ඔහු කටයුතු කර තිබේ. වෙළෙඳ සේවා වැඩසටහන් පාලක ලෙස ද රාජකාරි කර ඇති ලලිත් එස් මෛත්‍රීපාල මහතා  වැඩබලන සිංහල සේවා අධ්‍යක්ෂ ලෙසද කලක් කටයුතු කර ඇත.  

 ලලිත් එස් මෛත්‍රීපාල මහතා 1991වසරේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති පදවියට පත් විය. එතුමා සිය ජීවන ගමන නිමාකලේ 2004  මාර්තු මස 8 වැනිදාය.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment