Sunday, December 20, 2020

සුනන්ද මහේන්ද්‍ර

 


ලංකා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදකයෙක් වූ හේ ලේඛකයෙකි. කවියෙකි. සාහිත්‍යධරයෙකි. වැඩසටහන් සම්පාදකයෙකි.අති දක්ෂ සංනිවේදකයෙකි. 

1971 කැරැල්ලෙන් පසු වෘත්තීය පාදක විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමුවිය . එහි ප්‍රතිඵල ලෙස රැකියා වෙළද පොල ඉලක්ක කල විෂයක් ලෙස  ජනසංනිවේද විෂය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හදුන්වා දීම සිදුවන්නේය.ඒ  1972 දී පමණය.ඒ අනුව  1973දී කැළණිය විශ්ව විද්‍යාලයේ  ජනසංනිවේදන  විෂය ඉගැන්වීමේ ප්‍රමුඛාචාර්‍යවරයා වූයේ ඔහුය. හේ සුනන්ද මහේන්ද්‍ර නම් විය.

1938 ජනවාරි 28 වැනිදා සුනන්ද මහේන්ද්‍ර උපත ලබන්නේ කටුනායක සීදූව අලවතුපිටියේය.  මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් හා කොළඹ ආනන්ද විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන සුනන්ද මහේන්ද්‍ර  ශාස්ත්‍රවේදී උපාධිය ලබාගන්නේ විද්‍යාලංකාර විශ්ව විද්‍යාල යෙනි  (වරතමානයේ කැළණිය විශ්ව විද්‍යාලය)

විශ්ව විද්‍යාල අධ්‍යාපනයෙන් අනතුරුව සුනන්ද මහේන්ද්‍ර  රැකියාව ලෙස තෝරා ගන්නේ ගුරු වෘත්තීයයි .මරදාන  ශ්‍රි ලංකා විද්‍යාලයේ   ගුරුවරයකු ලෙස උපාධි අපේක්ෂකයන් සදහා ඔහු ඉංග්‍රීසි ඉගැන්වීම කලේය.

මේ සමයේ ලංකා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදක තනතුරින්  මහගම සේකර ඉල්ලා අස්වීම හේතුවෙන් එකී තනතුර පුරප්පාඩු තිබුණි.

එම තනතුරට සුනන්ද මහේන්ද්‍රයන් යොමුකොට තිබූ අයදුම්පත සලකා බැලූ ලංකා ගුවන් විදුලි පාලනාධිකාරිය සංගීත අංශයේ නිබන්ධන  සම්පාදක තනතුරට තෝරා ගනු ලැබීය. ඒ 1965 වසරේ දීය.

එතැන් සිට ගුවන් විදුලියේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදක තනතුරේ රාජකාරි කල සුනන්ද මහේන්ද්‍රයන්ගේ ජීවිතයේ විශාල පරිවර්තනයක් කල සිද්ධිය වන්නේ බීබීසී ආයතනයේ සිංහල අංශයේ වැඩසටහන් සම්පාදකයෙක් ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීමයි.

ඒ වන විට බීබීසී ආයතනයේ රාජකාරි කල එච්.එම්. ගුණසේකර මහතා සිය සේවා කාලය අවසන් කොට යලි ගුවන් විදුලියේ රාජකාරි සදහා වාර්තා කොට තිබුණි. බීබීසී ආයතනය එහි සිංහල අංශයේ වැඩසටහන් සම්පාදක තනතුරට නව නිලධාරියකු තෝරා එවන ලෙස ලංකා ගුවන් විදුලි පාලනාධිකාරියට දන්වා තිබේ.

ඒ ආනුව අදාල තනතුර සදහා ලංකා ගුවන් විදුලියේ සේවය කල , නිලධාරින් වෙතින් අයදුම්පත් කැදවන ලදී. සුනන්ද මහේන්ද්‍රයන් ඒ සදහා අයදුම්පතක් යොමු කලේය.

ඉතාම තරගකාරි හා තියුණු පරීක්ෂණයකින් අනතුරුව සුනන්ද මහේන්ද්‍ර බීබීසී ආයතනයේ සිංහල අංශයේ වැඩසටහන් සම්පාදක ලෙස  තේරී පත්විය .

1968 දී හේ නව තනතුරේ රාජකාරි සදහා මහා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවන් බලා පිටපත් විය. බීබීසී ආයතනයේ සිංහල අංශය  ලාංකීය ශ්‍රාවකයන් සදහා එකල සමාජ , ආර්ථික,දේශපාලන හා  සංස්කෘතික ව්ටිනාකම් සහිතව සංදේශය වැඩසටහන ඉදිරිපත් කලේය.

සුනන්ද මහේන්ද්‍රයන් බීබීසී ලෝක සේවයේ සිංහල අංශයේ රාජකාරි කරන සමයේ සංදේශය වැඩසටහන ඉහල ගුණාත්මක වැඩසටහනක් ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කලේය.

මහා බ්‍රිතාන්‍යයේ රාජකාරි කරන සමයේ හේ සිය දර්ශණසූරී උපාධිය  හෙවත් ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ගත්තේය . 1973 මුල් හාගයේ පමණ යලි සිය රට පැමිණි ආචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුවන් විදුලියේ සිය රාජකාරි ආරම්භ කලේය.

ගුවන් විදුලි රාජකාරි වලදී ඇති වූ වෘත්තීයමය ගැටලුකාරී තත්වයන් හා  ඒ වනවිට  කැළණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය තනතුරකට  ඔහුට තිබුණු ආරාධනයත් සලකා බලා හේ ගුවන් විදුලියෙන් ඉල්ලා අස්විය.

ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් ගුවන් විදුලි රැකියාවෙන් ඉවත් වූවත් එතුමෝ ගුවන් විදුලිය සමග වූ සිය සබැඳියාව කිසිදින අත් නොහලහ. සුනන්ද මහේන්ද්‍රයන් හා ගුවන් විදුලිය අතර ඇත්තේ ආත්මගත සබැඳියාවකි.

හේ ගුවන් විදුලිය සමග දශක හයකට වඩා වැඩිකාලයක් සමීපව කටයුතු කර තිබේ. ගීතය, නාට්‍ය , කවිය, සාහිත්‍ය , ජාත්‍යන්තර පුවත් , විශ්ව සාහිත්‍ය , විද්‍යාව, දර්ශණය ...... මේ ආදී වශයෙන් වූ විවිධ ශේක්ත්‍ර ඔස්සේ හේ සිය දැනුම ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා වෙත දානය කොට තිබේ.

ඉතා ලගන්නා සුළු ,  නිවුනු කට හඩකින් සිය ශ්‍රාවක ප්‍රජාව ආමන්ත්‍රණය කරන මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයෝ ගුවන් විදුලි වංශාවලියේ අපූරු වදන් සිත්තම් කරුවෙක් වන්නාහ.

ඉන්දික ජයරත්න 

No comments:

Post a Comment