Thursday, December 17, 2020

සරත් විමලවීර


ගුවන් විදුලියේ ගීත නාටක වැඩිම ප්‍රමාණයක් ලියූ  රචකයා  කවුරුන් විය හැකිද?. ගුවන් විදුලි වංශාවලියේ ඒ වාර්තාව තබා ඇත්තේ අන් කවුරුන් හෝ නොව , සරත් විමලවීර සූරීන්‍ ය.

1927 නොවැම්බර් 27 වැනිදා සරත් විමලවීර උපත ලබන්නේ කඩුවෙල හංවැල්ලේ දීය. සරත් විමලවීර ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කැළණිය ගුරුකුල විද්‍යාලයේ ය.  ලාංකේය බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ ආනන්දයෙන් හේ ද්වීතියික අධ්‍යාපනය ලබා ඇත.

පාසැල් වියේ සිටම කලා හා සාහිත්‍ය  නිර්මාණාත්මක කටයුතු පිළිබඳ උනන්දුවක් සරත් විමලවීර සතුවුණි. කොළඹ ආනන්දයේ ඉගෙන ගන්නා සමයේම සරත් , ගුවන් විදුලියේ ළමා පිටියට සම්බන්ධ වන්නේ එහි සම්පාදක වූ සිරි අයියා හෙවත් යු . ඒ .එස්.පෙරේරාගේ මග පෙන්වීමෙනි.

1951වසරේ දී ලංකා ගුවන් විදුලියට සරත් විමලවීර සම්බන්ධ වන්නේ නිවේදකයකු වශයෙනි. හේ ගුවන් විදුලියේ එකල අතිශය ජනප්‍රිය වූ ළමා පිටිය වැඩසටහනේ නිෂ්පාදකයකු ලෙස ද කටයුතු කර ඇත . මිට   අමතරව  සරස්වති මණ්ඩපය ඔහු විසින් නිෂ්පාදනය කර තිබේ.

සරත් විමලවීර යනු අති දක්ෂ නිවේදකයෙකි. එසේම සජීවී විස්තර කථනයේ දී ඔහු  අපූරු වදන් සිත්තම් කරුවෙකි.

 ලංකා ගුවන්  විදුලිය ශ්‍රීපාද මහ මළුවේ සිට ප්‍රථම වරට සජීවී විස්තර කථනයක් ගෙන ආ අවස්ථාවේ එහි සජීව විස්තර කථනය ඉදිරිපත් කලේ සරත් විමලවීරයන් ය.

මහ නුවර දළදා පෙරහැර පිළිබඳ සජීව විස්තර කථනයේ එවක ප්‍රධාන නිවේදකයකුව කටයුතු කර ඇත්තේ සරත් විමලවීර සූරීන්‍ ය. මීට අමතරව කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ චෛත්‍යය රාජයාන්වහන්සේගේ කොත නිරාවරණ කටයුතු එවක අග්‍රාමාත්‍ය ඩඩ්ලි සේනානායක විසින් සිදු කරද්දී එහි සජීව ගුවන් විදුලි විස්තර කථනය ඉදිරිපත් කර ඇත්තේ ද සරත් විමලවීරයෝය.

ජාතික ගුවන් විදුලියේ රටවටා අවුරුදු සජීව විචිත්‍රාංගයේ ද හේ විස්තර කථනයේ යෙදී තිබේ . තමා සිටින ප්‍රදේශය පිළිබඳ අසන්නාගේ මනසේ අපූරු සිතුවමක් මැවෙන සේ විස්තර කථනය කිරීමේ සුවිශේෂී හැකියාවක් සරත් විමලවීර සූරීන්‍ සතු විය.

ඔහුගේ සජීව විස්තර කථන විලාශය අතිශය තාත්විකය .වරක් ළමා වැඩසටහනකදී  ඔහු ඉදිරිපත් කල විස්තර ප්‍රචාරය රටම කැලඹීමට පත් කලේය. සජීව විචිත්‍රාංගක් වූ එහි කතාව වූයේ කොළඹ බේරේ වැවෙන් මතුවූ අතිවිශාල සද්දන්ත සත්වයකු කොළඹ නගරය  විනාශ කරමින් ගමන් කරන ආකාරයයි. 

මේ වැඩසටහන ඇසූවෝ අතිශය තැතිගැනීමකට ලක්වූ අතර මෙහි තවත්  විස්තර දැන ගැනීමට ජනතාව එදා ලංකා ගුවන් විදුලිය වට කල බව කියැවෙයි.

ආකර්ශනීය වදන් භාවිතයෙන් ශ්‍රාවකයාගේ මනසේ වදන්  චිත්‍ර මැවීමේ අපූරු දක්ෂතාවයක් සරත් විමලවීර සතුවූයේ ය.

සිංහල අවුරුද්ද , වෙසක් පෝය, පොසොන් පෝය සේම නත්තල් උත්සවය වෙනුවෙන් ද සරත් විමලවීර ගීත නාටක රචනා කර තිබේ. ගුවන් විදුලියේ වැඩිම ගීත නාටක රචනා කල රචකයා සරත් විමලවීරයෝය .

හේ දක්ෂ ගීත රචකයෙකි. ඔහු විසින් රචිත බොහොමයක් ගීත එදා මෙන් අද ද ජනප්‍රියය.

සළලිහිණි කොවුල් හඩ රැව්දෙන්නා..................


දුර පෙනෙන තැනිතලා ....................


එසේ ජනප්‍රිය ගීත අතුරින් කිහිපයක් පමණි.


.තේමා ගීත රචනයේ ද සරත් විමලවීරයෝ සමර්ථයෙකි. මහවැලි තේමා ගීය ඔහුගේ ගේය පද රචනයකි.

ගුවන් විදුලියේ මධ්‍යම ක්‍රියාකාරී අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කර ඇති සරත් විමලවීර මහතාගේ  මාධ්‍ය දිවිය වසර 40 කට  වැඩිය. 

සරත් විමලවීරයෝය අප අතුරින් සමුගත්නේ 1993 දෙසැම්බර් 11 වෙනි දිනය. ගුවන් විදුලි වංශාවලිය පෝෂණය කල සරත් විමලවීර නාමය සදා අමරණීය වන්නේය .

ඉන්දික ජයරත්න

Post settings Labels No matching suggestions Published on 12/18/20 10:34 AM Permalink Location Options

No comments:

Post a Comment