Thursday, December 10, 2020

ජනදාස පීරිස්

 


ලාංකේය විද්‍යුත් මාධ්‍ය වංශ කතාවේ ප්‍රවෘත්ති කරණයෙහි සුවිශේෂී දක්ෂතා දැක්වූ යම් මාධ්‍යකරුවන් ප්‍රමාණයක්  වන්නේද ඒ සියළු දෙනා  හමුවේ මුලින්ම  කියවෙන නාමයක් වන්නේ ජනදාස පීරිස් නාමයයි.

1942 ජූලි හත් වැනිදා පානදුර ගොරකානේදී උපත ලැබූ පීරිස් මහතා, මූලික අධ්‍යාපනය ලබන්නේ ගොරකාන ප්‍රාථමික විද්‍යාලයෙනි.පසුව ඔහු මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට ඇතුලත් විය.

ජනදාස පීරිස් මහතාගේ පියා මෙරට වාමාංශික ව්‍යාපාරයේ පූරෝගාමී සාමාජිකයෙකි. හේ නමින් හෙන්රි පීරිස්‍ ය. 1947ප්‍රථම පාර්ලිමේන්තුවේ පානදුර මහජන මංත්‍රිවරයා වූ ඒ මහතා මෙරට ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයේ ආරම්භක සාමාජිකයෙකි.

ලංකා සමසමාජ පක්ෂයේ නිල පුවත් පත වූ "සම සමාජය "පුවත් පතේ කතෘ වූයේ ජනදාස පීරිස් මහතාගේ පියානන් වූ හෙන්රි පීරිස්‍ මහතාය.

පියාගේ අභාෂයෙන්ම පත්තර හා මාධ්‍ය කටයුතු වලට යොමු වූ ජනදාස පීරිස් මහතා එකල ලංකා සෝවියට් තානාපති කාර්‍යාලය මාසිකව පලකරන ලද "සෝවියට් දේශය" සගරාවේ කතුවරයා ලෙස කටයුතු කලේය.

1972 වසරේ දී ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශයට හේ සම්බන්වන්නේ සහකාර ප්‍රවෘත්ති සංස්කාරකවරයකු වශයෙනි. මෙරට ගුවන් විදුලි ප්‍රවෘත්තිකරණයේ ව්‍යාකරණානුකූල ප්‍රවෘත්ති භාෂාව හසුරන එකම ආයතනය ගුවන් විදුලි සංස්ථාවයි.

 ඒ ප්‍රවෘත්ති භාෂාව පෝෂණයට ජනදාස පීරිස් මහතාගෙන් සිදුවන්නේ වැදගත් සේවාවකි. ගුවන් විදුලි ප්‍රවෘත්තිකරණයේ දී  ආරම්භක වාක්‍ය වර්තමාන කාලයෙන් ඉදිරිපත් කිරීමේ සමාරම්භකයා වනාහි  ජනදාස පීරිස් සූරීන්‍ ය.

1989 දී  ඒ මහතා ජාතික ගුවන් විදුලියේ ප්‍රධාන ප්‍රවෘත්ති සංස්කාරක වශයෙන් පත් විය. ප්‍රතිපත්තිමය හේතුමත ගුවන් විදුලියෙන් ඉල්ලා අස්වන  ජනදාස පීරිස්  පසුව ස්වාධීන රූපවාහිනී සේවයට සම්බන්ධ වන්නේ ය. ස්වාධීන රූපවාහිනී සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශයක් ආරම්භ කරන්නේ ජනදාස පීරිස් මහතා විසිනි.

1994 දී ජාතික ගුවන් විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වන ඒ මහතා 1995 වසරේ ගුවන් විදුලි සංස්ථාවේ සභාපති ලෙස ද පත්වන්නේය.

 සිංහල ස්වදේශිය සේවයේ මෙන්ම ජාතික ගුවන් විදුලියේ  අනන්‍යතාවයක් ලෙස හැදින්වීය  හැකි "සුභාරතී" වැඩසටහන්  සංකල්පය හදුන්වා දෙන්නේ ජනදාස පීරිස් මහතාය.

ගුවන් විදුලියේ අතිශය දක්ෂ නිර්මාණකරුවකු අධීන මාධ්‍යවේදියකු වන  තිලක් ජයරත්නයෝ සුභාරති වැඩසටහන් ආකෘතියේ නිර්මාතෘවරයාණෝය.

ගුවන්විදුලියේ ප්‍රවෘත්ති කාර්‍ය වඩාත් පුළුල්කිරීමට මූලික වන්නේ ජනදාස පීරිස් මහතා ය. ගුවන් විදුලියට මුල්වරට  කාලීන වැඩසටහන් අංශයක් හදුන්වා දෙන්නේ  ජනදාස පීරිස් මහතා ය.

මාධ්‍යකරණයේ  දැවැන්තයකු වූ  ජනදාස පීරිස් යනු මහා මාධ්‍ය තාන්ත්‍රිකයකි. ගුවන් විදුලියේ සභාපති / අධ්‍යක්ෂ ජනරාල් වූ ජනදාස පීරිස් සූරීන්‍ ලේක් හවුස් ආයතනයේ කතෘ මණ්ඩලය අධ්‍යක්ෂ , ලේක් හවුස් ආයතනයේ සභාපති , ජාතික රූපවාහිනීයේ වැඩ බලන සභාපති සේම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද කටයුතු කලේය. මෙලෙස එකවර තනතුර බොහොමයක් හෙබවූ විශිෂ්ඨයකු වන්නේ ගුවන් විදුලියේ හිටපු සභාපතිවරයෙක් වූ රිජ්වේ තිලකරත්නයන්‍ ය.

ගුවන් විදුලි ප්‍රවෘත්ති කෙත පෝෂණය කලාවූ ජනදාස පීරිස් සූරීන්‍ මෙරට ගුවන් විදුලි වංශ කතාවේ නොමියෙන චරිතය කි.

ඉන්දික ජයරත්න

No comments:

Post a Comment