Tuesday, December 22, 2020

ලලිත් එස් මෛත්‍රීපාල

 


මධුර මනෝහර හඩින් කවි ගායනයේ විස්කම්  පෑ හේ, පාලි, සංස්කෘත , හින්දි, ඉංග්‍රීසි ,  ලතින් ආදී වශයෙන් වූ පෙර අපර දෙදිග භාෂා භාවිතයේ ප්‍රමාණික උගතෙකි.

1933   අගෝස්තු 07 වැනිදා ගල්කිස්සේදී උපත ලද ඔහු  නමින් ලලිත් සුවිනීත මෛත්‍රීපාලය.

වචනාර්ථයෙන්ම සුවිනීත චරිතයක් වූ හේ ලංකේය ගුවන් විදුලි ශ්‍රාවකයා හදුනා ගන්නේ ලලිත් එස් මෛත්‍රීපාල නමිනි.

මෛත්‍රීපාල මූලික අධ්‍යාපනය ලබන්නේ ගල්කිස්ස ශ්‍රී පුණ්‍යකාමී විද්‍යාලයෙනි.ගල්කිස්ස ක්‍රිස්තුදේව විද්‍යාලයෙන් ඉංග්‍රීසි අධ්‍යාපනය ලබන  ලලිත් එස් මෛත්‍රීපාල වයස අවුරුදු  16 දී, බෞද්ධාචාර්ය විභාගය සමත් විය.

Monday, December 21, 2020

මහගම සේකර

 


ගීතය , කවිය , නවකතාව , කෙටි කථාව, චිත්‍ර කළාව   හා සිනමාව ඇතුළු  කලා ශේක්ත්‍රවල විස්කම් පෑ හේ වචනාර්ථයෙන්ම සකල කළාවටම අධිපති  සරසවි දෙවගනගේ අපූරු නිමවුමක් යැයි කිවහොත් නිවරදි ය. 

ඔහු නමින් මහගම සේකර නම් වේ. 1929 අප්‍රේල් 07 දින ගම්පහ දොම්පේ මගගම දී උපන් සේකර මූලික අධ්‍යාපනය ලබන්නේ  කිරිදිවැල මහා විද්‍යාලයෙනි.

කුඩා කල සිටම කළා කටයුතු වලට  දැක්වූ සේකර දැක්වූ  මේ අපූරු දක්ෂතාවය පෙර සසර පුරුද්දක් වැනිය.කෙනෙකුගේ ගුරුහරුකම්, ඉගැන්වීම් වලින් තොරව  සේකර කළා නිර්මාණකරණය සදහා දැක්වූ දක්ෂතාවය විශ්මය ජනකය.

මොහාන් සමරනායක



70 දශකය අගභාගයේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් පිටවූ මේ තරුණ උපාධිධාරීයා දෙස් විදෙස් ප්‍රවෘත්තිකරණයේ අති දක්ෂයෙකි.

හේ ශ්‍රි ලංකා ගුවන් විදුලියේ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වන්නේ සහකාර ප්‍රවෘත්ති සංස්කාරකවරයෙක් වශයෙනි ඒ 1980 වර්ෂයේ ය.

කලුතර අගලවත්තේ උපන් ඔහු නමින් මොහාන් සමරනායක ය. විද්‍යුත් මාධ්‍ය වංශ කතාවේ 70/80  දශක යනු ගුවන් විදුලිය මෙරට ග්‍රාහක ප්‍රජාව අතර ජයකෙහෙළිය නැංවූ අවධිය යි.  ගුවන් විදුලි ඒකාධිකාරය ගුවන් විදුලි සංස්ථාව සතුවූ අතර, සියලු තොරතුරු ශ්‍රාවකයාට සංනිවේදනය කල එකම මාධ්‍ය වූයේ ද ගුවන් විදුලිය යි.

එවක ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති අංශය වැනි අතිශය සංකීර්ණ ස්ථානයක රැකියාවක් කිරීම ද  අතිශය බැරෑරුම් කටයුත්තකි.

නමුත් මොහාන් සමරනායක මහතා සහකාර ප්‍රවෘත්ති සංස්කාරක රාජකාරි අභියෝග, අභියෝගාත්මකව බාරගත් මාධ්‍යවේදියෙකි.

Sunday, December 20, 2020

සුනන්ද මහේන්ද්‍ර

 


ලංකා ගුවන් විදුලියේ සංගීත අංශයේ නිබන්ධන සම්පාදකයෙක් වූ හේ ලේඛකයෙකි. කවියෙකි. සාහිත්‍යධරයෙකි. වැඩසටහන් සම්පාදකයෙකි.අති දක්ෂ සංනිවේදකයෙකි. 

1971 කැරැල්ලෙන් පසු වෘත්තීය පාදක විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයක් පිළිබඳ අවධානය යොමුවිය . එහි ප්‍රතිඵල ලෙස රැකියා වෙළද පොල ඉලක්ක කල විෂයක් ලෙස  ජනසංනිවේද විෂය විශ්ව විද්‍යාල අධ්‍යාපනයට හදුන්වා දීම සිදුවන්නේය.ඒ  1972 දී පමණය.ඒ අනුව  1973දී කැළණිය විශ්ව විද්‍යාලයේ  ජනසංනිවේදන  විෂය ඉගැන්වීමේ ප්‍රමුඛාචාර්‍යවරයා වූයේ ඔහුය. හේ සුනන්ද මහේන්ද්‍ර නම් විය.

Thursday, December 17, 2020

සරත් විමලවීර


ගුවන් විදුලියේ ගීත නාටක වැඩිම ප්‍රමාණයක් ලියූ  රචකයා  කවුරුන් විය හැකිද?. ගුවන් විදුලි වංශාවලියේ ඒ වාර්තාව තබා ඇත්තේ අන් කවුරුන් හෝ නොව , සරත් විමලවීර සූරීන්‍ ය.

1927 නොවැම්බර් 27 වැනිදා සරත් විමලවීර උපත ලබන්නේ කඩුවෙල හංවැල්ලේ දීය. සරත් විමලවීර ප්‍රාථමික අධ්‍යාපනය ලබන්නේ කැළණිය ගුරුකුල විද්‍යාලයේ ය.  ලාංකේය බෞද්ධ අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වූ කොළඹ ආනන්දයෙන් හේ ද්වීතියික අධ්‍යාපනය ලබා ඇත.

තිලක් ජයරත්න



ගුවන් විදුලි වංශාවලිය නවමු මාවතකට ප්‍රවේශ කරවූ මාධ්‍ය චරිත අතුර ප්‍රමුඛයා ලෙස හැදින්වීය හැක්කේ තිලක් ජයරත්නයන්‍ ය.

තිලක් ගුවන් විදුලියට සම්බන්ධ වන්නේ 1960 දශකය අගභායේ  හා 1970 දශකය මුල් භාගය අතරතුරදී ය.

ගුවන් විදුලියට  ක්‍රියාකාරී  සහයකයකු ලෙස සම්බන්ධ වන තිලක්ගේ මුල් රාජකාරිය වන්නේ වැඩසටහන් පටිගත කිරීම ,  වැඩසටහන් සංස්කරණය කිරීම ආදිය යි.

ක්‍රියාකාරී සහයකයකු වූ හේ ගුවන් විදුලියේ වැඩසටහන් නිෂ්පාදකයකු ලෙස පසුව පත්වීම් ලබන්නේය.

නිර්මාණාත්මක වැඩසටහන්කරණය පිළිබඳ උනන්දුවක් දක්වන තිලක් වාර්ථාංග හා ගවේෂණාත්මක වැඩසටහන් සම්පාදනය පිළිබඳ උනන්දුවක් දැක්වූයේ ය.

ජාතික ගුවන් විදුලිය නව දිශානතීයකට යොමුකල 1990 දශකය  මුල් භාගයේ ආරම්භ වූ නව අධ්‍යාපන සේවයේ නිර්මාතෘවරයා තිලක් ජයරත්නය. සාම්ප්‍රදායික විධිමත් අධ්‍යාපන වැඩසටහන් ක්‍රමවේදය වෙනුවට උසස් නිර්මාණාත්මක ගුණයෙන් යුතු නොවිධිමත් නව අධ්‍යාපන වැඩසටහන් හදුන්වා දීමේ පුරෝගාමියා තිලක් ජයරත්නයෝ ය.

1994 සිදුවූ ආණ්ඩු පෙරලිය හා ගුවන් විදුලි මාධ්‍ය කර්මාන්තයට පුද්ගලික මාධ්‍ය ආයතන ප්‍රවේශ වීමත් සමග මෙරට රාජ්‍ය මාධ්‍ය ඒකාධිකාරය ක්‍රමිකව අහෝසි විය.

ඩෝල්ටන් අල්විස්

 


ලාංකේය ගීත සාහිත්‍ය , නිර්මාණාත්මක ලේඛණ සාහිත්‍ය  පෝෂණය කල අද්විතීය සාහිත්‍යධරයකු ලෙස ඉතිහාසයයේ රන් පත්තිරු අතරට ස්වකීය නාමය  එක්කල සාහිත්‍යධරයෙකි, ඩෝල්ටන් අල්විස්.

1927  දෙසැම්බර් 07 වැනි දින ගාල්ල බෙන්තර දී, ඩෝල්ටන් අල්විස් උපත ලබන්නේය.  ඔහු දෙමටගොඩ අනුරුද්ධ බාලිකාවේ ( වර්තමානයේ  හදුන්වන නම ) ප්‍රාථමික අධ්‍යාපනය ලැබීය. ද්වීතියික අධ්‍යාපනය සදහා ඩෝල්ටන් අල්විස් ඇතුලත් වන්නේ ,  ලංකාවේ ප්‍රධානතම බෞද්ධ විද්‍යාලයක් වන කොළඹ ආනන්ද විද්‍යාලයට ය.